කෝමාන විද්‍යාලය – පදියතලාව, අම්පාර දිස්ත්‍රික්කය

දැන් ඔවුන්ගේ හඬ දුර ඈතට ඇසෙනු ඇත

උම්බ්‍රියා අපි ශ්‍රී ලාංකික එකමුතුව නැවතත් කෝමාන විද්‍යාලය වෙත පැමිණියේ මෙවර සිසුන් සඳහා සම්පූර්ණ ශබ්ද විකාශන පද්ධතියක් සමඟිනි. එහි සම්පූර්ණ වියදම අපේ ප්‍රජාවේ තරුණ සාමාජිකයන් දෙදෙනෙකුගේ පළමු වැටුපෙන් දරන ලදී.

පළමු වැටුපෙන් තිළිණයක්

අම්පාර, මහඔය, පදියතලාව කෝමාන විද්‍යාලයේ බොහෝ දුෂ්කරතා හා අඩුපාඩු මැද ඉගෙනුම ලබන ආදරණීය සිසු දූ දරුවන්ට අවශ්‍යව තිබූ ශබ්දවිකාශන පද්ධතියක් උම්බ්‍රියා අපි ශ්‍රී ලාංකික එකමුතුව විසින් 2026 සැප්තැම්බර් මස 23 වන දින සිසු අයිතියට පිරිනැමූ බව ඔබ සැම වෙත ඉතාමත්ම නිහතමානී සතුටකින් යුතුව දැනුම් දෙමු.

මෙම සත් කාර්යය සඳහා සිය රැකියාවන්ගෙන් ලබා ගත් පළමු වැටුප වැය කරමින්, සියලුම දෙමාපියන්ට හා තරුණ දූ දරුවන්ට වැදගත් ආදර්ශයක් සපයමින් සම්පූර්ණ මූල්‍ය අනුග්‍රහය ලබා දුන්නේ අප සහෘද තිලක් කෝරළගේ හා චමිලා කෝරළගේ මහත්ම මහත්මියගේ ආදරණීය දරුවන් වන විනුජ කෝරළගේ හා සනුජ කෝරළගේ බව ඔබ සැම වෙත දැනුම් දෙන්නේ ඉතාමත් ස්තූතිපූර්වක සතුටකිනි.

මෙම සත් කාර්යය සාර්ථක කර ගැනීම සඳහා උම්බ්‍රියා අපි ශ්‍රී ලාංකික එකමුතුවේ විධායක කමිටු සාමාජික එන්. කේ. දසනායක මහතා කාර්ය බහුල සිය නිවාඩු දින කිහිපයෙන් සැලකිය යුතු කාලයක් හා වියදමක් දරා අප සියලු දෙනා වෙනුවෙන් එම අවස්ථාවට සහභාගී වීමද ස්තූතිපූර්වකව සිහිපත් කිරීමට කැමැත්තෙමු.

“ඉතා දුෂ්කරතා බොහොමයක් යටතේ ඉගෙනුම ලබන ඒ අහිංසක සිසු දරු දැරියන් තම භාවිතයට ලැබුණු වටිනා ශබ්දවිකාශන පද්ධතිය දෙස සිනහ පිරුණු මුහුණින් බලන විට හැඟෙන එකම කරුණ වන්නේ, මතු දිනයක එය භාවිතයෙන් බිහිවන දක්ෂ කථිකයින්, ගායකයින්, දේශකයින් හා වාදකයින් පිළිබඳ අපේක්ෂාවයි.”
උම්බ්‍රියා අපි ශ්‍රී ලාංකික එකමුතුව

සිසුන්ගේ පිළිගැනීම

කෝමාන සඳහා ඊළඟ පියවර: පිරිසිදු පානීය ජලය

කෝමාන විද්‍යාලයේදී නව ශබ්ද විකාශන පද්ධතිය සමඟ උම්බ්‍රියා අපි නියෝජිතයින්

එමෙන්ම එම පාසලේ සිසු දරු දැරියන් මුහුණපා සිටින පානීය ජල ගැටලුව විසඳීමට උම්බ්‍රියා අපි ශ්‍රී ලාංකික එකමුතුව ව්‍යාපෘතියක් සූදානම් කරමින් සිටියි.

එය සාර්ථක කර ගැනීම සඳහා ඔබ සියලු දෙනාගේම සහයෝගය ගෞරවයෙන් අපේක්ෂා කරමු.

Scroll to Top